Monday, March 27, 2017

නෙළුම් යායේ බ්ලොග් මල් පිපීම හෙවත් අපේ චූන් අපිට චූන්

බ්ලොග්... මෙහෙම කිවුවහම ඉස්සර නං හෙන පට්ට විදියට පෙනුනට දැන් නං කුජීතයි. මොකද බ්ලොග් කියන්නෙම නිදහස් අවකාශයක් නෙ. ඒ නිදහස් අවකාශය ඇතුළු හැම එකාම දන්න සෙල්ලං දහඅටම පෙන්න්න ගිහින අමු කුජීත වෙලා තියෙන්නේ. දැන් බැලුවහම බ්ලොග් කියන්නේ අමුම අමු මඩ ගොහොරුවක්. ඒ මඩ ගොහොරුව පාදන්න කියල කට්ටියම බැහැල, එහෙටයි මෙහෙටයි දුවන්න ගත්තහම ඒ අමු මඩ ගොහොරුවෙන් අර අපුල ගඳත් එන්න පටන් ගත්ත. ඒ කියන්නේ කට්ටිය සුද්ද කරන්න කියල වැඩේට බැස්සට උනේ වැඩේ තවත් අවුල් වෙච්ච එක විතරයි.

මේ අතරෙ බ්ලොග් සම්මාන උළෙලක් ගැන එහෙන් මෙහෙන් තොරතුරු එන්න ගත්ත. වැඩේ ආරංචි වෙච්ච අපිත් මේ වැඩේට සෙට් වුණේ වෙන මෙකක්වත්  නිසා නෙමෙයි, එකම එක හේතුවක් නිසා. ඒ එකම එක හේතුව තමයි වැඩේ තියෙන්නේ ‘වෝටර්ස් ඒජ්‘ එකේ නිසා. දැන් ඉතින් හෙන පොෂ් එවුන් කියාවි අපෝ වෝටර්ස් ඒජ් එකත් හෝටලයක්ද කියල. හැබැයි මරදානෙ බුහාරි එක දිහා බලාගෙන් ඊට අල්ලපු වැටේ තියෙන නානාගෙ සෙල්ව අයියගෙ කඩෙන් තෝසෙ ගිලල, ආපහු ඇවිත් බුහාරි එක ඉස්සරහ තියෙන ගහට හේත්තු වෙලා දත් හාරන අපිට නං ඉතින් වෝටර්ස් ඒජ් එකත් මාරයි තමයි.

කොහොමින් කොහොම හරි ඔන්න 25 වෙනිදා අපිත් වැඩේට සෙට් වුණා කියපංකො. අප්පා ස්ට්‍රේජ් එකේ ලස්සන දරා ගන්න බැරි වුණා. අර කෝන් දෙකක් එකට අලවල වගේ හැම තැනම තිබ්බ රෝස පාට පෙට්ටි ටික මොනවද කියල ළඟ එකෙක්ගෙන් ඇහුවෙ ඇත්තටම ඒක මොකද්ද කියල හිතා ගන්න වත් බැරි වුණ නිසා. ඒක මා දිහා රවල කියපි ඇයි යකෝ ඒ නෙළුම් මල්නෙ කිවුව. මමත් ඉතින් ඉත් කන්න තව දුරටත් දත් ටික පරිස්සං කර ගන්න ඕනෙ නිසා වෙන මුකුත් ඇහුවෙ නෑ.

වැඩේ නැගල යනව. ඒ කිවුවේ හෙන චූන් කියන එකම නෙමෙයි. ස්ට්‍රේජ් එක ටිකක් උඩින් තිබ්බ නිසා වැඩේ ගියෙම නැගල. කොහොම හරි ප්‍රධාන දේශනය කළේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය උන්නැහෙ. බ්ලොග් සම්මාන උළෙලයි, මැතිවරණ කොමිසමයි හරියට නිකං “පොල් කොළයි සිමෙන්තියි වගේ“ කියල මට හිතුනට නිවේදකය දුන්න කොර ටෝක් එකෙන් තමයි මමං දන්න ඉලව්වක් නෑ කියල තේරුණේ. නිවේදකය කියපි “මේකෙ තීම් එක මනුෂ්‍යත්වය, පහුගිය මැතිවරණයට කලින් දවසේ එක් පුද්ගලයෙක් කියනව ඡන්ද දූෂණ කරන්න ආවොත් දණිස්සෙන් පහළට නෙමෙයි, ආයෙ ඔළුවටම තියනව කියල ලංකාවේ මනුස්සකම රැක දුන්න කෙනා වේදිකාවට කැඳවනව“ කියල. එක පාරටම මං වාඩිවෙලා හිටපු පුටුව හෙළ වෙන්න ගත්ත. මං බැළුව මොකද කියල. බැලින්නං මටත් කළින් මගේ පුක හිනා වෙනව.
කොහොමින් කොහොම හරි වැඩේ නැගලම ගියා. ඔය අතරේ පාර්ලිමේන්තුවේ කතානායකත් නැගල හෙන ටෝකක් දුන්න. වැඩේ කියන්නේ ඒකගෙ කතාව අස්සෙ කරන්ට් එක ගියා කියපංකො. මට මාර චූන්. ඇයි යකෝ මුං කියන ඒව මොකාටද අහන් ඉන්න පුළුවන්.

කොහොමින් කොහොම හරි පට්ට සීන් එක උනේ ඊටත් පස්සේ. ඒක තමයි ස්ට්‍රේජ් එකට තවත් පොරකට ආරාධනා කළා. ඒ ආරාධනාව කරද්දි නිවේදක ජෝඩුව කිවුවෙ “නූතන සේනක බිබිලේ“ කියලයි. මං ඒත් බැළුව කවුද යකෝ ඒ කියල. බැලින්නං මේ අපේ රාජිත සේනාරත්න නෙ. වැඩේ හරියටම ෂුවර් නැති නිසා නිවේදක ජෝඩුවට ටිකක් කිට්ටු කරල බැළුව මුන් දෙන්න මදන මෝදකේ වත් කාලද කියල.

ටිකකින් ශාලාවෙ දොරෙන් එහා පැත්තෙ පිඟන්, හැඳි, ගෑරුප්පු, කෝප්ප ටිං ටිං ගාන සද්දයක් ඇහුණා. හිමීට ගිහින් දොරෙන් එළියට ඔළුව දාල බලද්දි මෙන් යකෝ එක එක ජාතියෙ විච්චූරණ කෑම ගොඩක්. අයෙ ආපු වැඩෙත් අමතක වුණා. දෙසා බෑව කියන්නෙ ආයෙ බඩේ රැළි ටික නැති වෙලා, බඩ ටිං ගාන්න දුන්න වැඩේ. මොනා වුණත් හිතට හෙන ෆිට්. ඇයි යකෝ දවසම චාටර් වුණාට අඩුම ගානේ එක වැඩක් වත් සුපිරියට තිබ්බනෙ කියල.  වැඩේ කියන්නෙ ආපහු ඇතුළට ඔළුව ඔබද්දි මෙන්න බොලේ නාට්‍යයක් පෙන්නව. හැබැයි බලන්න කවුරුත් නෑ. හිස් පුටුවලට නාට්‍යයක් පෙන්නව මං ඔය දැක්කමයි.

ආ... කියන්න අමතක වුණා නේ... ඒ අතරේ හොඳම බ්ලොග් නිර්මාණවලට සම්මානත් දුන්න. මාරම වැඩේ කියන්නෙ ඉතින් ඒ සම්මාන ගත්ත හුඟක් එවුන් තමයි මේ නෙළුම් යායෙ වැඩවලට එහෙට මෙහෙට ගියෙ. ඒ අතර තවත් නම නොදන්න හුඟක් දෙනෙක්ගෙ නම් කියවුණා. සම්මාන ගන්න කවුරුත් ආවෙ නෑ. ඔය අතර නම කියවුණත් සම්මාන ගන්න ආපු නැති හැම අවස්ථාවකදිම සම්මානය ගන්න “කාගෙත් සහෘදයෙක්“ හිටිය. කොහොම වුණත් ඒ සහෘදයගෙ මැදිහත්වීම නං අමතක කරන්නම බෑ.

හැබැයි ඉතින් ගස් නැති රටේ තුත්තිරි ගහත් ගහක් කියනව වගේ මොනව වුණත් මේක අගය කරන්න වටින වැඩක්. මොකද බ්ලොග් සම්මාන උළෙලක් කියල කියන්නේ ඔය නලු නිලියන්ට සම්මාන දෙනව වගේ වැඩක් නෙමෙයි. ඊට එහා ගියපු මහා භාරදූර කාර්යයක්. බ්ලොග් ගැන ඇගයීමම ඊටත් වඩා මාර වැඩක්.

ඒත්... ඔක්කොම හොඳයි මුක්කම නරකයි කිවුව වගේ සම්මාන දෙන්න ආපු එවුන් ගැන තියෙන හිරිකිත හැඟීම මේ වැඩෙන් නැති වුණේ නං නෑ. ඇයි යකෝ බ්ලොග්කාරයො අම්බානෙක විවේචනය කරන, කුණුහරුපෙන් බනින ඇමැතියො මේ සම්මාන උළෙලට ආරාධිත අමුත්තො විදියට ඇවිත්, නූතන සේනක බිබිලේල වෙලා, උන්ව විවේචනය කරපු එවුන්ගෙ අත්පුඩිය මැද්දෙ ස්ට්‍රේජ් නැගල, බ්ලොග් ලියන එක ගැන දේශන අහන් ඉන්න වෙන එක තරම් චාටර් වෙච්ච ගු කේස් එකක් නෑ මං හිතන්නෙ.


කොහොම වුණත් වැඩේ මාරයි... අර චූටියට තිබ්බ සී ෆුඩ් පීසා එක... ඒක මාරම මාරයි...

2 comments:

  1. කියන්න ඕන ටික හරියට තියනව, මේක නං මාරම මාරයි !

    ReplyDelete
  2. හත් ඉලව්වේ මේකේ අකුරු ටිකක් ලොකු කරලා දාපන්කෝ බං. බොහොම අමාරුවෙන් කියෝගත්තෙ.. ආන් සේනක බිබිලේ වලෙන් නැගිටලා ඇවිත් බෙල්ලෙ වැල දාගෙන මැරිලාලු ආයෙත්..

    ReplyDelete