Monday, March 27, 2017

නෙළුම් යායේ බ්ලොග් මල් පිපීම හෙවත් අපේ චූන් අපිට චූන්

බ්ලොග්... මෙහෙම කිවුවහම ඉස්සර නං හෙන පට්ට විදියට පෙනුනට දැන් නං කුජීතයි. මොකද බ්ලොග් කියන්නෙම නිදහස් අවකාශයක් නෙ. ඒ නිදහස් අවකාශය ඇතුළු හැම එකාම දන්න සෙල්ලං දහඅටම පෙන්න්න ගිහින අමු කුජීත වෙලා තියෙන්නේ. දැන් බැලුවහම බ්ලොග් කියන්නේ අමුම අමු මඩ ගොහොරුවක්. ඒ මඩ ගොහොරුව පාදන්න කියල කට්ටියම බැහැල, එහෙටයි මෙහෙටයි දුවන්න ගත්තහම ඒ අමු මඩ ගොහොරුවෙන් අර අපුල ගඳත් එන්න පටන් ගත්ත. ඒ කියන්නේ කට්ටිය සුද්ද කරන්න කියල වැඩේට බැස්සට උනේ වැඩේ තවත් අවුල් වෙච්ච එක විතරයි.

මේ අතරෙ බ්ලොග් සම්මාන උළෙලක් ගැන එහෙන් මෙහෙන් තොරතුරු එන්න ගත්ත. වැඩේ ආරංචි වෙච්ච අපිත් මේ වැඩේට සෙට් වුණේ වෙන මෙකක්වත්  නිසා නෙමෙයි, එකම එක හේතුවක් නිසා. ඒ එකම එක හේතුව තමයි වැඩේ තියෙන්නේ ‘වෝටර්ස් ඒජ්‘ එකේ නිසා. දැන් ඉතින් හෙන පොෂ් එවුන් කියාවි අපෝ වෝටර්ස් ඒජ් එකත් හෝටලයක්ද කියල. හැබැයි මරදානෙ බුහාරි එක දිහා බලාගෙන් ඊට අල්ලපු වැටේ තියෙන නානාගෙ සෙල්ව අයියගෙ කඩෙන් තෝසෙ ගිලල, ආපහු ඇවිත් බුහාරි එක ඉස්සරහ තියෙන ගහට හේත්තු වෙලා දත් හාරන අපිට නං ඉතින් වෝටර්ස් ඒජ් එකත් මාරයි තමයි.

කොහොමින් කොහොම හරි ඔන්න 25 වෙනිදා අපිත් වැඩේට සෙට් වුණා කියපංකො. අප්පා ස්ට්‍රේජ් එකේ ලස්සන දරා ගන්න බැරි වුණා. අර කෝන් දෙකක් එකට අලවල වගේ හැම තැනම තිබ්බ රෝස පාට පෙට්ටි ටික මොනවද කියල ළඟ එකෙක්ගෙන් ඇහුවෙ ඇත්තටම ඒක මොකද්ද කියල හිතා ගන්න වත් බැරි වුණ නිසා. ඒක මා දිහා රවල කියපි ඇයි යකෝ ඒ නෙළුම් මල්නෙ කිවුව. මමත් ඉතින් ඉත් කන්න තව දුරටත් දත් ටික පරිස්සං කර ගන්න ඕනෙ නිසා වෙන මුකුත් ඇහුවෙ නෑ.