Wednesday, May 3, 2017

සහෝදරවරුනි, දැන් ලංකාවේ දේශපාලන සිරකරුවන් නැද්ද?


පසුගිය කාල සීමාවේදී කොටුව දුම්රිය පොළ බදු අරගෙන වගේ කටයුතු කරපු පිරිසක් හිටියා. පිරිසක් කිවුවට ඒ පිරිස අතරෙ අපිත් එහෙන් මෙහෙන් හිටිය. ඒ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට අට්ටාලයක් ගහගෙන අවුරුද්දකට වඩා වැඩි කාලයක් අඛණ්ඩව විරෝධතාවයක් දක්වමින්.

විරෝධතා ඉතිහාසයට අලුතෙන් ටියුෂන් පන්තියක් දෙන්න තරම් ජවය පෙන්නපු මේ අට්ටාලය අවුරුද්දකට අධික කාලයක් පුරා අමාරුවෙන් අමාරුවෙන් හරි ගෙනිච්ච. මේ අරගලය කරගෙන යන අතරතුර අට්ටාලය ඉස්සරහ පාර දෙකට බෙදල වෙන්කරන්න මාර්ග සංවර්ධන අධිකාරියෙන් හදල තිබුණ යකඩ වැටේ දිගට දිගේ අපුරු බැනර් එකකුත් එල්ල තිබ්බෙ කොළඹ යන එන උන්දැලාට පේන්න කියලයි.  අපරාදෙ කියන්න බෑ ඒ බැනර් එකේ සිංහල දෙමළ ඉංගිරීසි කියන භාෂා තුනෙන්ම එකම වාක්‍ය කොටල තිබුණෙ ජාතික සංහිදියාවට අත වනන්න අපිත් රෙඩි කියන්න වාගේ.

කෙහොම හරි ඒ  බැනර් එකේ තඩි පත අකුරෙන් ලියල තිබ්බේ “සියලු දේශපාලන සිරකරුවන් වහා නිදහස් කරනු! කියලයි. මේ විරෝධතාවයේ ප්‍රධාන පරමාර්ථය වුනේ අසාධාරණ විදියට සිරගත කරපු කුමාර් ගුණරත්නම් සහෝදරයාව නිදහස් කර ගන්න. නමුත් මේ සටන ඒ කියන අරමුණ වටා පටු විදියට කැරකෙන්නේ නැතුව පුළුල් සමාජ කතිකාවතකට මුළ පුරන්නයි මේ පොදු සටන් පාඨ එකතු කරගත්තේ කියල මේ ගැන අහපුවහම ‘අයිය‘කෙනෙක් මට කිවුවේ.

ඔය කියන කාල සීමාව තුළ විවිධ සටන් ක්‍රියාමාර්ග පෙරටුගාමී සමාජවාදී පක්ෂය මුලික කරගත්ත දේශපාලන ක්‍රියාකාරීන් විසින් සිද්ධ කළා. මේ සියලු ක්‍රියාකාරකම්වල මූලික සටන් පාඨය වුණේ සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කරනු කියන පුළුල් තේමාව. ඔය අතරේ අතුරුහන් කිරීම්, පැහැරගැනීම් වහා හෙලිදරව් කරනු!, කුමාර් ගුණරත්නම් සහෝදරයාගේ දේශපාලන අයිතිය උදුරා නොගනු! වගේ සටන් පාඨත් එකතු වුණා.

බැනර් අත්සන් කිරීම කියන දේශපාලන ක්‍රියාමාර්ගයේදීත් අත්සන් කරන්න යෙදා ගත්තු බැනරයේ පවා සටහන් කරල තිබුණෙ “දේශපාලන සිරකරුවන් වහා නිදහස් කරනු!, අතුරුහන් කිරීම්, පැහැරගැනීම් වහා හෙලිදරව් කරනු!, කුමාර් ගුණරත්නම් සහෝදරයාගේ දේශපාලන අයිතිය උදුරා නොගනු! කියන සටන් පාඨ තුනයි.

දැන් මට තියෙන ප්‍රශ්නය මේකයි. මේ කියන විරෝධතාවය බය වෙලා හරි, උසාවියෙන් දීපු තීන්දුවට අදාල කාලසීමාව අවසන් කරල හරි කොහොම හරි පහුගියදා කුමාර් ගුණරත්නම් සහෝදරයා හිරෙන් නිදහස් වෙලා එළියට ආවා. ඒ විතරක් නෙමෙයි ඔහු ඔස්ට්‍රේලියා පුරවැසිභාවය අහෝසි කර ගෙන ලංකාවෙ පුරවැසිභාවය ලබා ගන්න අවශ්‍ය කටයුතුත් කෙරුණා. කොහොමින් කොහොම හරි කුමාර් සහෝදරයාව එලියට අරන්, ඔහුගේ පුරවැසිභාවයට අදාල කටයුතු නිරාකරණය කරගන්න පුළුවන් වුණා.

ඒ කටයුතු නිරාකරණය කර ගත්තට පස්සේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුළු අර ඒ දවස්වල අට්ටාලය ඉස්සර කෑමොර දිපු පක්ෂ සහෝදරවරු, දේශපාලන ක්‍රියාධරයින් වගේ පිරිස් එකපාරටම නියුට්‍රල් වුණා. දැන් කස්ටියගෙ කිසිම සද්දයක් නෑ. අර ඒ දවස්වල උතුර ලේ රහවෙනකං කෑගහපු “සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කරනු!“ කියන සටන් පාඨයත් සද්දයක් නැතුවම මැකිල ගිහින්. අඩුම තරමේ මේ සිදුවීමට මුහුණ දීපු කුමාර් ගුණරත්නම් පවා මෙවර මැයි රැලියෙදි තමන්ගෙ කතාවෙදි දේශපාලන සිරකරුවන් ගැන හරි, ඔවුන්ගෙ ගැටළු ගැන හරි, ඔවුන් විඳින දුක හරි ගැන එක වචනයක් වත් කිවුවේ නෑ. දේශපාලන සිරකරුවන් කියන වචනය යන්තමින් හරි පාවිච්චි කළේ චමීර කොස්වත්ත සහෝදරය විතරයි. ඒකත් එකම එක අවස්තාවකදි විතරයි.

තත්වය මෙහෙම නං ලංකාවේ මේ වෙන කොට සිදුවිය යුතු අවස්ථාවන් කිහිපයක් තියෙනව.

එක - සියලු දේශපාලන සිරකරුවන් යනු ‘කුමාර් ගුණරත්නම්‘ට කියන තවත් නමකි. (ඔහු විවිධ නම්වලින් පෙනී සිටීමට ප්‍රසිද්ධ බැවින් මෙය වඩාත් පිළිගත හැකි සිදුවීමයි)

දෙක -කුමාර් ගුණරත්නම් නිදහස් කරන අවස්ථාවේදී සියලුම දේශපාලන සිරකරුවන් නිදහස් කර ඇත.
තුන -  පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අභ්‍යන්තර සාකච්ඡාවකදී (සංවාදයකදී) දේශපාලන සිරකරුවන් යන්න සංවාදයට ගෙන මෙතෙක් කාලයක් එහි අර්ථය පක්ෂය විසින් වැරදි ලෙස ගෙන ඇති බවත්, මින් ඉදිරියට එය වෙනස් විය යුතු බවත් පක්ෂ සාමාජිකයින් වෙත දන්වා ඒ අනුව කටයුතු කිරීම.

හතර - බ්ලා - බ්ලා - බ්ලා

මේ කියන විදියට එක්කෝ පක්ෂයට වැරදි ඇත. නැත පක්ෂයට කොහෙත්ම වැරදීම් සිදුවිය නොහැක. අපිට වැරදී ඇත. එක්කෝ අප වරද්දාගෙන ඇත. 

ඒ මුකුත්ම නැත්තං සිද්ධ වෙන්න පුළුවන් එකම එක දෙයක් විතරයි. ඒ වෙන මොකවත් නෙමෙයි “ජයසිරිට නෙමෙයි අපිට පිස්සු“.

No comments:

Post a Comment