Wednesday, May 3, 2017

සහෝදරවරුනි, දැන් ලංකාවේ දේශපාලන සිරකරුවන් නැද්ද?


පසුගිය කාල සීමාවේදී කොටුව දුම්රිය පොළ බදු අරගෙන වගේ කටයුතු කරපු පිරිසක් හිටියා. පිරිසක් කිවුවට ඒ පිරිස අතරෙ අපිත් එහෙන් මෙහෙන් හිටිය. ඒ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට අට්ටාලයක් ගහගෙන අවුරුද්දකට වඩා වැඩි කාලයක් අඛණ්ඩව විරෝධතාවයක් දක්වමින්.

විරෝධතා ඉතිහාසයට අලුතෙන් ටියුෂන් පන්තියක් දෙන්න තරම් ජවය පෙන්නපු මේ අට්ටාලය අවුරුද්දකට අධික කාලයක් පුරා අමාරුවෙන් අමාරුවෙන් හරි ගෙනිච්ච. මේ අරගලය කරගෙන යන අතරතුර අට්ටාලය ඉස්සරහ පාර දෙකට බෙදල වෙන්කරන්න මාර්ග සංවර්ධන අධිකාරියෙන් හදල තිබුණ යකඩ වැටේ දිගට දිගේ අපුරු බැනර් එකකුත් එල්ල තිබ්බෙ කොළඹ යන එන උන්දැලාට පේන්න කියලයි.  අපරාදෙ කියන්න බෑ ඒ බැනර් එකේ සිංහල දෙමළ ඉංගිරීසි කියන භාෂා තුනෙන්ම එකම වාක්‍ය කොටල තිබුණෙ ජාතික සංහිදියාවට අත වනන්න අපිත් රෙඩි කියන්න වාගේ.

කෙහොම හරි ඒ  බැනර් එකේ තඩි පත අකුරෙන් ලියල තිබ්බේ “සියලු දේශපාලන සිරකරුවන් වහා නිදහස් කරනු! කියලයි. මේ විරෝධතාවයේ ප්‍රධාන පරමාර්ථය වුනේ අසාධාරණ විදියට සිරගත කරපු කුමාර් ගුණරත්නම් සහෝදරයාව නිදහස් කර ගන්න. නමුත් මේ සටන ඒ කියන අරමුණ වටා පටු විදියට කැරකෙන්නේ නැතුව පුළුල් සමාජ කතිකාවතකට මුළ පුරන්නයි මේ පොදු සටන් පාඨ එකතු කරගත්තේ කියල මේ ගැන අහපුවහම ‘අයිය‘කෙනෙක් මට කිවුවේ.

Monday, March 27, 2017

නෙළුම් යායේ බ්ලොග් මල් පිපීම හෙවත් අපේ චූන් අපිට චූන්

බ්ලොග්... මෙහෙම කිවුවහම ඉස්සර නං හෙන පට්ට විදියට පෙනුනට දැන් නං කුජීතයි. මොකද බ්ලොග් කියන්නෙම නිදහස් අවකාශයක් නෙ. ඒ නිදහස් අවකාශය ඇතුළු හැම එකාම දන්න සෙල්ලං දහඅටම පෙන්න්න ගිහින අමු කුජීත වෙලා තියෙන්නේ. දැන් බැලුවහම බ්ලොග් කියන්නේ අමුම අමු මඩ ගොහොරුවක්. ඒ මඩ ගොහොරුව පාදන්න කියල කට්ටියම බැහැල, එහෙටයි මෙහෙටයි දුවන්න ගත්තහම ඒ අමු මඩ ගොහොරුවෙන් අර අපුල ගඳත් එන්න පටන් ගත්ත. ඒ කියන්නේ කට්ටිය සුද්ද කරන්න කියල වැඩේට බැස්සට උනේ වැඩේ තවත් අවුල් වෙච්ච එක විතරයි.

මේ අතරෙ බ්ලොග් සම්මාන උළෙලක් ගැන එහෙන් මෙහෙන් තොරතුරු එන්න ගත්ත. වැඩේ ආරංචි වෙච්ච අපිත් මේ වැඩේට සෙට් වුණේ වෙන මෙකක්වත්  නිසා නෙමෙයි, එකම එක හේතුවක් නිසා. ඒ එකම එක හේතුව තමයි වැඩේ තියෙන්නේ ‘වෝටර්ස් ඒජ්‘ එකේ නිසා. දැන් ඉතින් හෙන පොෂ් එවුන් කියාවි අපෝ වෝටර්ස් ඒජ් එකත් හෝටලයක්ද කියල. හැබැයි මරදානෙ බුහාරි එක දිහා බලාගෙන් ඊට අල්ලපු වැටේ තියෙන නානාගෙ සෙල්ව අයියගෙ කඩෙන් තෝසෙ ගිලල, ආපහු ඇවිත් බුහාරි එක ඉස්සරහ තියෙන ගහට හේත්තු වෙලා දත් හාරන අපිට නං ඉතින් වෝටර්ස් ඒජ් එකත් මාරයි තමයි.

කොහොමින් කොහොම හරි ඔන්න 25 වෙනිදා අපිත් වැඩේට සෙට් වුණා කියපංකො. අප්පා ස්ට්‍රේජ් එකේ ලස්සන දරා ගන්න බැරි වුණා. අර කෝන් දෙකක් එකට අලවල වගේ හැම තැනම තිබ්බ රෝස පාට පෙට්ටි ටික මොනවද කියල ළඟ එකෙක්ගෙන් ඇහුවෙ ඇත්තටම ඒක මොකද්ද කියල හිතා ගන්න වත් බැරි වුණ නිසා. ඒක මා දිහා රවල කියපි ඇයි යකෝ ඒ නෙළුම් මල්නෙ කිවුව. මමත් ඉතින් ඉත් කන්න තව දුරටත් දත් ටික පරිස්සං කර ගන්න ඕනෙ නිසා වෙන මුකුත් ඇහුවෙ නෑ.

Tuesday, May 28, 2013

හරක්, හරක් සහ හරක්


පසුගිය වෙසක් පුන් පොහෝ දින ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිටදී සිය සිරුරට ගිනි තබාගෙන සිය දිවි නසා ගත් බෝවත්තේ ඉන්දසාර නම් භික්ෂූන් වහන්සේ පිළීබද මේ වන විට සමාජයේ නොයෙක් අංශවලින් විවිධ කෝනවලින් නිනිදා හා ප්‍රසංසා ගලා එමින් පවතී. මේ අතර උන් වහන්සේගේ ‘මිනිය‘ ඔවුන්ගේ වදනින් කිවහොත් ශ්‍රී දේහය විකුණාගෙන කෑමට විවිධ පිරිස් ඇන කොටා ගනිමින් සිටිති.

මේ නාඩගම දුටු බොහෝ පිරිස් මේ පිළීබද දක්වන්නේ දැඩි පිළිකුලකි. මේ වන විට facebook මිතුරු ජාලය පුරා පිරිසක් උන් වහන්සේ විකුණමින් සිය මඩිය තර කර ගැනීමට උත්සහ දරමින් සිටින අතර, බොහෝ දෙනා මේ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ සිය විරුද්ධ මතවාදය ඉදිරිපත් කරමින් සිටී.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අපට ද ඇත්තේ දැඩි පිළිකුලකි. එනම් බුදුන් වහන්සේගේ ධර්මය හිස මත තබා ගනිමින් ම්ලේච්ඡත්වය කරා බුදු පුතුන් ගමන් කිරීමයි. යම් අරමුණක් වෙනුවෙන් සිය ජීවිතය තොර කර ගැනීම ජීවිත පූජාවක් වූයේ ධර්මයෙන් තොරවූ ම්ලේච්ඡත්වයෙන් ලොව වැසී තිබූ යුගයේදීය. එකල්හි අරමුණු වෙන්වෙන් දිවි තොර කර ගැනීම උත්තම පූජාවකි. නම්ත් බුද්න් වහන්සේගේ ධර්මයෙන් මේ ලෝකයට සත්‍ය ඉදිරිපත් වූ බව පුන පුනා කියමින් ලංකාද්වීපය ධර්ම රාජ්‍යයක් කිරීමේ අරමුණික් කටයුතු කරනවා යැයි පාරම් බානා පිරිස බුදු වදන් වලට පිටුපා කටයුතු කිරීම කිනම් අයුරකින් අගය කළ යුතු දැයි අපට නොවැටහේ.
මේ අතර මෙය ජීවිත පූජාවක් යැයි පවසමින් හරක් වෙනුවෙන් (රටේ තවත් දැවෙන් ප්‍රශ්න රැසක් ඉදිරියේ ඇස් කන් වසා සිටිමින්) දිවි තොර කර ගත් හිමියන්ගේග මිනිය වෙනුවෙන් දැන් තවත් සිවුරු පොරවා ගත් කිහිප දෙනෙකු ගිනි තබාගැනීමට සූදානම් වී ඇත. ඔවුන් පවසන්නේ මෙය සෙල්ලමට නොගත යුතු කාරනාවක් බවයි.

 මේ සියලු නාටකයන් දෙස බලා සිටි අපට අවසන පැවසීමට ඇත්තේ එක් කරුණක් පමණි. එනම් හරකුන්ගේ ජීවිත වෙනුවෙන් බෝවත්තේ ඉන්දසාර නම් හරකෙකු ගිනි තබා ගත් අතර, ඉන්දසාර නම් හරකා වෙනුවෙන් තවත් හරක් රැලක් ඒ මග යාමට සූදානම් බවයි. අහෝ ඉන්දසාර නොදුටු මොක් පුර….

අවසර අපෙ හාමුදුරුවනේ කරුණා අම්මාන් මැතිදු බුද්ධ ශාසන ඇමැති කරමුද?


ෆේස්බුක් පිටුවක පළ කර තිබූ එක් ඡායාරූපයක් දැකීමෙන් අපට මෙසේ සිතිනි. බුදු දහම වර්ධනය කිරීමට නම් බුද්ධ ශාසන ඇමැති කළ යුත්තේ කරුණා අම්මාන් මැතිදුය යන්නයි. අප එසේ කියන්නේ පසුගිය කාලය පුරාව රටේ සිදුවූ බොහෝ ක්‍රියාකාරකම් පිළිබද එකිනෙකට පරස්පරව ඇතිවූ සිතුවිලි ගලපා ගනිමිනි. එනම් පසුගිය කාලයේදී මහරජාණන් වහන්සේගේ පුත්‍ර රත්නයට ඇති වූ දොළදුකක්, සමාවෙන්න ආශාවක් සංසිදුවීමේ අරමුණින් ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ නයිට් කාර් රේස් පැවැත්වීම සදහා කටයුතු සංවිධානය කිරීමේ තීරණයක් සමග රටේ වගකිවයුත්තන් විසින් විවිධ තර්ක ඉදිරිපත් කළෝය. මහ නාහිමිවරුන් බාල බොළද විරෝධයක් දක්වද්දී, ඇතැම් මහජන නිලධාරීන් පැවසුවේ මෙය කාලෝචිත ක්‍රියාවක් බවයි.

මෙම පුවත පළවී මේ වන විට සති කිහිපයක් ඉක්ම ගියත් බොදු බල සේනා හෝ ජාතික හෙළ උරුමය හෝ මේ සම්බන්ධයෙන් කිසිදු අදහසක් ප්‍රකාශ කර නැත. මහ නායක ස්වාමීන් වහන්සේලා පවා මේ සම්බන්ධයෙන් වැදගත් හෝ තියුණු ප්‍රකාශයක් කර නැත්තේ උන්වහන්සේලාගේ කාර් පර්මිට් එක මේ දිනවල ලබා දීමට කවුරුන් හෝ පොරොන්දු වී සිටින නිසාවත් දැයි අප හට සැක සිතේ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මල්වතු – අස්ගිරි මහ නාහිමිවරුන් (පුස්) විරෝධයක් එල්ල කර ඇතත්, මේ සදහා අදාල බලධාරීන් විසින් අවසර ලබා දී ඇත්තේ අදාල විරෝධන පිළිබද පයිසෙකට මායිම් නොකරය. මීට අමතරව ‘මහනුවර උරුමය සුරැකීමේ පදනම‘ මේ සම්බන්ධයෙන් විරෝධයක් එල්ල කළ ද එයද පුස් වෙඩිල්ලකට වත් තරම් නොවීය.
දැන් අපට ඇති ගැටළුව නම් බෞද්ධ ජනතාවගේ එකම ගැළවුම්කරුවාණන් වීමට කැසකවන ජාතික හෙළ උරුමය හා බොදු බල සේනා සංවිධානය මේ සම්බන්ධයෙන් මුනිවත රකින්නේ කිම්ද යන්නයි. වෙසක් පොහොයට බක්කො නටන අයට හා පොල්තෙල් පහන් දල්වන අයට වේවැල් පහර දීමට බලා සිටින මුන්දැලා උතුම් දළදා වහන්සේ ඉදිරිපිටින් බියර් ෂොප් විවෘත කර, (අඩ) නිරුවන් කාන්තාවන් වීදි බැස නටනා නෙයියාඩමට මුනිවත රකින්නේ මන්ද යන්නයි.

හෙළ උරුමයේ මුනිවත පිළිබදව නම් යම්  හැගීමක් ඇත. මන්ද පනතට එකග නම් කැසිනෝව වරදක් නැතියි කියූ, රජ මාලිගයේදී නම් මත්පැන් ගත්තාට වරදක් නැතැයි කියූ උන්(ගනින්) නාන්සේලා, රාජ බේබිලාගේ කැමැත්ත නිසාවෙන් දළදාව වටා කාර් රේස් නොව, දළදාව ඉහළින් ජෙට් රේස් ගියද කම් නැතැයි පවසනු ඇත.
තත්ත්වය මෙසේ හෙයින් ජාතික හෙළ උරුමයට හා බොදු බල සේනාවට මෙසේ යෝජනාවක් කරමු. එනම් ශාසනය නගා සිටුවීමට නම් වයසක උන්දෑ කෙනෙකුට කළ හැක්කන් නොමැති බැවින් තරුණ ජවය හා ගරුතර ස්වාමීන් වහන්සේලාගේ ලේ සුවද හදුනන කරුණා අම්මාන්  මැතිදු බුද්ධ ශාසන ඇමැති කිරීමට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ගෙන ඒම යුගයේ කාලෝචිතම ක්‍රියාව වනු ඇත.

කෙවිට ගෙන නිවන් දැක්කවීම හෙවත් ජනතාව නගුලේ බැදීම

මෙවර වෙසක් සමයේදී ඔළුබක්කන් නැටීම වැනි නුසුදුසු ක්‍රියා වල යෙදෙන්නවුන්ට වේවැල් පහර දෙන බව බොදු බල සේනා සංවිධානයේ ප්‍රධාන ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසා ඇත. එමෙන්ම  පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී ද උන්වහන්සේ පැවසුනේ බෞද්ධයන් විසින් පොල්තෙල් පහන් දැල්වීම ද නුසුදුසු බවයි. මේ සම්බන්ධයෙන් උන් වහන්සේ හේතුකාරක කාරණා ලෙස දක්වන්නේ ස්වභාවික සම්පතක් වන පොල්තෙල් විශාල ප්‍රමාණයක් වෙසක් සමය වෙනුවෙන් නාස්ති වන බවකි.

කෙසේ වෙතත් මේ පිළිබදව විමසා බලද්දී අපට හැගී යන දෙය නම් දැන් නම් බොදු බල සේනාවට ‘දෙයියන්ගේග හාල් කැවී ඇත‘ යන්නයි. වෙසක් දිනය වෙනුවෙන් සිය හරුබස්ස අතගා අතට හසුවන සොච්චම් මුදල ගෙන කළුකඩ මුදලාගෙන් පොල්තෙල් බිදුවක් මිලදී ගන්නා බෞද්ධයා එයින් මැටි පහනක් දල්වන්නේ ගෞතම බුදුන් වහන්සේට තමන්ගේ ආදායමට සරි ආමිස පූජාවක් සිදු කිරීමේ අපේක්ෂාවෙනි. එම අපේක්ෂාවක් ක්‍රියාත්මක කිරීමේදී ඔහුගේ ඇයගේ සිත තුළ මතුවන බැතිබර ශ්‍රද්ධාව, නිරාමිස ප්‍රීතිය කිසිවකට සම කළ නොහැක. නමුත් බොදු බල සේනා නම් මේ රස්තියාදුකාර සාදුවරුන් පවසන්නේ බෞද්ධයා එම නිරාමිස ප්‍රීතිය භුත්කි නොවිදිය යුතු බවයි.

එමෙන්ම ඔළුබක්කන් නටන සියලු දෙනාට වේවැලක් ගෙන තඩිබානා බව පැවසීමෙන් ඔවුන් පවසන්නේ දැන් අපි උඹලව බලෙන් නිවන් දක්කනවා යන්න නොවේද?

බුදුන් දවස බුදුන්ගේ විහාරයේ වැට මායිමේ ජීවත් වූ චුන්ද සූකරගේ ජීවන වෘත්තිය වූයේ ඌරන්  මරා මස් විකිණීමයි. අල්ලපු මායිමේ මෙවන් (බොදු විග්‍රහය අනුව) නරුම කටයුත්තක් කෙරෙද්දී ද බුදුන් වහන්සේ නිහඩව සිටියේ චුන්ද සූකරට හෝ ඔහුගේ මස් කපනා මන්නයට බියෙන් නොවේ. පුද්ගලයා නිවැරදි මාර්ගයට ගෙන ඒම බලහත්කාරයෙන් සිදු කිරීම කළ නෙහැකක් බැවිනි.

එපමණක් නොව, මෙසේ බලහත්කාරයෙන් ජනතාව නිවන් දැක්කවීමට කැස කවන බොදු බල සේනාව රටේ සමස්ත ජනතාවගේ දුක් අදෝනා පිළිබද මුනිවත රැකීම සැබැම විහිළුවකි. රටේ සමස්ත ජනතාවටම බලපාන විදුලි බිලි වැඩිවීම පිළිබදව මේ බොදු බල සේනා කිසිවක් කීවේ නැත. ඔවුන් මේ පිළිබද මුනිවත රකින්නේ විදුලි බිල නිවනට සම්බන්ධ නොවන නිසා දැයි අපි නොදනිමු.

නමුත් අපි සැදැහැ සිතින් බොදු බල සේනාවට යෝජනාවක් කරමු. එනම් වෙසක් පොහෝ දින ඔළුබක්කන් නටන අය තැලීමට ගත් වේවැල මේ විදුලි බිල වැඩි කර සමස්ත ජනතාව අදුරේ දැමූවන් වෙනුවෙන් පාවිච්චි කරන්න. එවිට එයින් සහනය ලබන සමස්ත ජනතාව විසින් අනුමොදන් කරන පිනෙන් නිවන් කෙසේ වෙතත්, තමන්ගේ සිතට සහනයක් හෝ උදාවනු නොඅනුමානය.