Tuesday, May 28, 2013

අවසර අපෙ හාමුදුරුවනේ කරුණා අම්මාන් මැතිදු බුද්ධ ශාසන ඇමැති කරමුද?


ෆේස්බුක් පිටුවක පළ කර තිබූ එක් ඡායාරූපයක් දැකීමෙන් අපට මෙසේ සිතිනි. බුදු දහම වර්ධනය කිරීමට නම් බුද්ධ ශාසන ඇමැති කළ යුත්තේ කරුණා අම්මාන් මැතිදුය යන්නයි. අප එසේ කියන්නේ පසුගිය කාලය පුරාව රටේ සිදුවූ බොහෝ ක්‍රියාකාරකම් පිළිබද එකිනෙකට පරස්පරව ඇතිවූ සිතුවිලි ගලපා ගනිමිනි. එනම් පසුගිය කාලයේදී මහරජාණන් වහන්සේගේ පුත්‍ර රත්නයට ඇති වූ දොළදුකක්, සමාවෙන්න ආශාවක් සංසිදුවීමේ අරමුණින් ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ නයිට් කාර් රේස් පැවැත්වීම සදහා කටයුතු සංවිධානය කිරීමේ තීරණයක් සමග රටේ වගකිවයුත්තන් විසින් විවිධ තර්ක ඉදිරිපත් කළෝය. මහ නාහිමිවරුන් බාල බොළද විරෝධයක් දක්වද්දී, ඇතැම් මහජන නිලධාරීන් පැවසුවේ මෙය කාලෝචිත ක්‍රියාවක් බවයි.

මෙම පුවත පළවී මේ වන විට සති කිහිපයක් ඉක්ම ගියත් බොදු බල සේනා හෝ ජාතික හෙළ උරුමය හෝ මේ සම්බන්ධයෙන් කිසිදු අදහසක් ප්‍රකාශ කර නැත. මහ නායක ස්වාමීන් වහන්සේලා පවා මේ සම්බන්ධයෙන් වැදගත් හෝ තියුණු ප්‍රකාශයක් කර නැත්තේ උන්වහන්සේලාගේ කාර් පර්මිට් එක මේ දිනවල ලබා දීමට කවුරුන් හෝ පොරොන්දු වී සිටින නිසාවත් දැයි අප හට සැක සිතේ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මල්වතු – අස්ගිරි මහ නාහිමිවරුන් (පුස්) විරෝධයක් එල්ල කර ඇතත්, මේ සදහා අදාල බලධාරීන් විසින් අවසර ලබා දී ඇත්තේ අදාල විරෝධන පිළිබද පයිසෙකට මායිම් නොකරය. මීට අමතරව ‘මහනුවර උරුමය සුරැකීමේ පදනම‘ මේ සම්බන්ධයෙන් විරෝධයක් එල්ල කළ ද එයද පුස් වෙඩිල්ලකට වත් තරම් නොවීය.
දැන් අපට ඇති ගැටළුව නම් බෞද්ධ ජනතාවගේ එකම ගැළවුම්කරුවාණන් වීමට කැසකවන ජාතික හෙළ උරුමය හා බොදු බල සේනා සංවිධානය මේ සම්බන්ධයෙන් මුනිවත රකින්නේ කිම්ද යන්නයි. වෙසක් පොහොයට බක්කො නටන අයට හා පොල්තෙල් පහන් දල්වන අයට වේවැල් පහර දීමට බලා සිටින මුන්දැලා උතුම් දළදා වහන්සේ ඉදිරිපිටින් බියර් ෂොප් විවෘත කර, (අඩ) නිරුවන් කාන්තාවන් වීදි බැස නටනා නෙයියාඩමට මුනිවත රකින්නේ මන්ද යන්නයි.

හෙළ උරුමයේ මුනිවත පිළිබදව නම් යම්  හැගීමක් ඇත. මන්ද පනතට එකග නම් කැසිනෝව වරදක් නැතියි කියූ, රජ මාලිගයේදී නම් මත්පැන් ගත්තාට වරදක් නැතැයි කියූ උන්(ගනින්) නාන්සේලා, රාජ බේබිලාගේ කැමැත්ත නිසාවෙන් දළදාව වටා කාර් රේස් නොව, දළදාව ඉහළින් ජෙට් රේස් ගියද කම් නැතැයි පවසනු ඇත.
තත්ත්වය මෙසේ හෙයින් ජාතික හෙළ උරුමයට හා බොදු බල සේනාවට මෙසේ යෝජනාවක් කරමු. එනම් ශාසනය නගා සිටුවීමට නම් වයසක උන්දෑ කෙනෙකුට කළ හැක්කන් නොමැති බැවින් තරුණ ජවය හා ගරුතර ස්වාමීන් වහන්සේලාගේ ලේ සුවද හදුනන කරුණා අම්මාන්  මැතිදු බුද්ධ ශාසන ඇමැති කිරීමට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ගෙන ඒම යුගයේ කාලෝචිතම ක්‍රියාව වනු ඇත.

No comments:

Post a Comment